Saturday, March 31, 2018

යථාරූප වැඩසටහන කොඩිවිනයක් වූයේ කාටද?


රාජ්‍ය විද්්‍යුත් මාධ්‍ය දෙක හරවත් ප‍්‍රගතිශීලි වැඩසටහන් ඉදිරිපත් කරමින් හඳුන්වාදෙමින් ආ ගමන ආපසු හැරවීමකි යථාරූප වඩසටහන නැවැත්වීම.

කූඹියෝ හා සහෝදරයා ටෙලි නාට්‍ය දෙක තැබූ ඉදිරි පිම්ම, කූඹියෝ ලැබූ ජන ප‍්‍රසාදය නිසාම මොට කිරීමට, වාරණය කිරීමට, ජාවාරම්කාර, තුට්ටු දෙකේ මාධ්‍ය බැලයන්ට මෙන්ම ආණ්ඩුවේ වන්දනා නඩයට නොහැකි විය.

සාස්තර කියන්නෝ, පේන කාරයෝ, හදි හූනියම් කාරයෝ පසුගිය වකවානුවේ ආරම්භ කර අදටත් පවත්වාගෙන යන ඊනියා ජාතික යැයි හංවඩු ගසා ගන්නා විද්්‍යුත් මාධ්‍ය හා පුවත්පත් උපයෝගී කරගෙන ගෙන යන ප‍්‍රචාරය අභියෝග කිරීමක් වූ මෙම වැඩසටහන නිසා, එම මාධ්‍යවලට ආර්ථික වශයෙන් කෙසේ වෙතත්, සාමාජීය වශයෙන් පහරක් විය.

අප රටේ මුල් බැසගත් සියලූම ආගම්වල විශ්වාසයන්ට, ඇදහිලිවලට, එරෙහිව යථාර්තය පිළිබඳව කථා කරන්න සූදානම් විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විවිධ ක්ෂේත‍්‍රවල විද්‍යාඥයන්, නිර්මාණකරුවන්, ජනමාධ්‍යවේදීන් සිටින බව හඳුන්වාදුන් මෙම වැඩසටහන මොට කිරීමට, විවිධාකාරවූ පීඩනයන්ට හසුව, පීඩා විඳින්නන් විකුණාගෙන කන එවුන්ට මෙන් අන්ධ භක්තිකයන්ටද වු  ඕනෑකම තහවුරු වීමකි මෙම වැඩසටහන අත්හිටු වීම.

රටේ නීතිය මත පාලනය පවත්වාගෙන යෑමට ප‍්‍රධාන බධාවකි මිත්‍යාව. මිත්‍යාව පදනම් කරගෙන සියලූ දේ විසඳීමට අර අ`දින බහුතරය ඇත්ත නැත්ත කුමක්ද යන්න තමන් විසින්ම විග‍්‍රහ කරගන්නට ඇති හැකියාව තමන් විසින් නැති කරගෙන ඇත. එම නොහැකියාව මත, ඇත්ත කුමක්ද යන්න තීරණය කරන්නේ තමන් හරි යයි විශ්වාස කරන්නාගේ ප‍්‍රකාශය අනුවය.

අපේ රටේ අතලොස්සක් හැරෙන්නට අන් සියලූ දෙනා තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු ගැන විශ්වාසය තබා තිබේ. එ් එ් ලබ්ධිකයන් මේ තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු අතර තමන් විශ්වාස කරන අය විවිධ නම් වලින් හඳුන්වති.

විවිධ උපමා, සර්ව නාම, ඔවුන්ට එකතු කර ඇත. විවිධ රූප ඔවුන්ට ආදේශ කර ඇත. චිත‍්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, එ් රූප මවා වන්දනා කරන්නට, කරගසාගෙන යන්නට සලසා ඇත. ගලෙන්, ලීයෙන්, මැට්ටෙන්, ප්ලාස්ටික්  හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් මේ පිළිම නිර්මාණය කර ඇත. කැඩුණු පසු එ්වා තැන්පත් කරනවා යැයි කියමින් පන්සල්, පල්ලි, කෝවිල්, දේවාලවලට හෝ එ්වා අසලට විසි කරති.

එමෙන්ම නොයෙකුත් මාදිලියේ කථාන්දර ගොතා ප‍්‍රසිද්ධ කර තිබේ. එ් කතාන්දර වල කියැවෙන සමහරුන් දෙවිවරුය, සමහරුන් යකුන්ය, සමහරුන් අවතාරය. එ් එ් විශ්වාසයට අනුව පල්ලි, කෝවිල්, දේවාල ඉදිකර ඇත. පන්සල්වලට ආදේශ කරගෙන ඇත. 

යථාරූප මේ ගැන කියන විට රිදුනේ, මේ මිත්‍යාවන් ඇත්ත කරමින් බඩ ගෝස්තරය රැක ගන්නා පිරිසටය. එ්වා විශ්වාස කරන අයටය. එ්වා මත තම දේශපාලනය කරන අයටය. පාරම්පරිකව, උපන්දා සිටි වැළඳ ගත් විශ්වාසයන් අත හැරිමට බිය අයටය.   

යථාරූප වැඩසටහන නැවැත්වූවාට, ‘යථාරූපය’ කුමක්ද යැයි සෙවීමට බහුතරය නොව සු`ඵතරය ගන්නා උත්සාහය නතර වන්නේ නැත. 

ගැලීලියෝ, බෲනෝ, දිවි දුන්නේ යස ඉසුරු සඳහා නොවේ. මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයට ය. 

ඔවුන් මෙන්ම, නම නොකියවුණු බොහෝ දෙනා මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයයේදි සිය දිවිය කැප කර ඇත.

එ් අය කිසි සේත් තම වධයට පාත‍්‍ර වූනේ, අන් අය වෙනුවෙන් කියා, තමාවත් අන් අයවත් රවටා ගත්තේ නැත. දිවි දුන්න අය පිළිබඳව, ජිවත්වන අප, ඔවුන් දිවි දුන්නේ අප වෙනුවෙන් කියා සිත හදා ගන්නෙමු. සමරන්නෙමු. පින් දෙන්නෙමු!!! 
     

No comments:

Post a Comment