Friday, December 8, 2017

ඇමති සාගලගේ ‘යහපාලන’ රෙද්ද මාකෙලිය පොලිසිය ගලවයිි.



ජගත් මුණසිංහ 43 හැවිරිදි තිදරු පියෙකි. බිරිඳ හා එක්ව තේ ද`ඵ කඩා ජීවත් වෙති.

ප‍්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු මෙන්ම, පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට ලක්වූ ”ලොකූ” ගේ අවශ්‍යතාවයට අත්අඩංගුවට ගෙන වධ දී බොරු නඩු දමන ලද්දේ, මෙම ලොකූට එරෙහිව පැමිණිල්ලක් දැමීමෙන් කරන ලද අපරාධයටය.

ප‍්‍රදේශයේ අපාරාධකරුවන් හා එක්ව ප‍්‍රසිද්ධියේ පාටි දමන මෙම පොලිස් නිලධාරීන්, අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ, අපරාධකරුවන්ට එරෙහිව, පැමිණිලි කරන්නන් අල්ලා වධ දී බොරු නඩු දමමින්ය.

එම ක‍්‍රියාව මාකෙලියට පමණක් සීමා වූවක් නොවේ.

අපරාධ අවම කිරීමට භාවනා කළ යුතු බව, පොලිසියක් ගානේ බුදු මැදුරු ඉදිකල යුතු බව පිලිගෙන, එ් අනුව, ක‍්‍රියාකරන සාගල ඇමති ගේ අනුදැනුමෙන් තොරව මෙවන් ක‍්‍රියාවන් සිදුවිය නොහැක. 

10 වෙනිදාට යෙදෙන ජගත් මානව හිමිකම් දිනය සමරන යහපාලනය අළෙවි කරන්නන් හට මෙය අගතියක් නොවනු ඇත. 

ජගත් මුණසිංහ විසින්  මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, නීතිය හා සාමය සහ දක්ෂින සංවර්ධණ අමාත්‍යංශයේ ලේකම්ට, නීතිපති හා ජාතික පොලිස් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ල පහත දක්වමු.

"ප‍්‍රදේශයේ අපරාධ කරුවකු සමග එක්ව අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු පැවරීම."
2017.12.07 දිනදීය. 
‘‘ 2017.12.01 දින දහවල් එකට පමණ, අසල්වැසියෙකු වූ, නිශ්ශංක (ලොකූ) නැමැති අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන්, මා, 119 ට දැනුම් දුන්නා. එසේ දැනුම් දුන්නේ චතුරංග නැමැති අයගේ දුරකථනයෙන්. මාගෙන් විස්තර අසා, මා ඉන්නා තැනට යෑමට තිබෙන අපහසුව නිසා, පැය 02 කින් පමණ, සමන්තිලක මුදලාලි ගේ කඬේ ලඟට ඇවිත් ඉන්න යයි දැනුම් දුන්නා. 

මා එ් අනුව, සමන්තිලක මුදලාලි ගේ කිඬේ ලඟට ගොස් සිටියා. 

සවස 3.30 ට පමණ, නිශ්ශංක (ලොකූ) නැමැති අය සමග පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් ආවා. සිවිල් පිට පැමිණි ඔවුන්, මාකෙලිඇල්ල පොලිසියට අයත් අය. සැරයන් ජයතිස්ස, පො.කො. නිලංග හා පො.කො.කුමාර යන අයවලූන් වේ.

මා ළඟට පැමිණි විගස, නිශ්ශංක මේ ඉන්නේ බඩු කියා, මාගේ ෂර්ට් එකේ කොලරය කරකවා අල්ලා ගත්තා. සැරයන් ජයතිස්ස මාගේ අත් පිටුපසට ගෙන මාංචු දැම්මා.

ඉන්පසු මට සැරයන් ජයතිස්ස, පො.කො.නිලංග හා පො.කො.කුමාර යන අය, අසල වැටෙන් ඇද කඩාගත් ලාඩප්පා පොලූවලින් පිටට, අත්වලට, කකුල්වලට ගැහුව්වා. වටකරගෙන අතින් ඔලූවට, මුහුණට ගැහුව්වා. කන්දෙකට ගැහුව්වා. ඔලූව කඬේ ලෑලි බිත්තියේ ඇන්නා.

එසේ පහරදී, සැරයන් ජයතිස්ස මා ළඟ ඉද්දී, පො.කො.නිලංග හා කුමාර, නිශ්ශංක (ලොකූ) සමග ඔහුගේ නිවසට ගියා.

ඔවුන් නිවසට ගොස්, නිශ්ශංක (ලොකූ) යන අයගේ පියා වන ගුණරත්න ව එතැනට අල්ලාගෙන ආවා.

ඉන්පසු යතුරු පැදිවල තියාගෙන මාකෙලිඇල්ල පොලිසියට ගෙන ආවා.

පොලිසිය ඇතුලට ගෙන යන විට, පොලිසියේ ස්ථානාධීපති, කලූපාට පොල්ලක් ගෙන, පිටට ගැහුව්වා. පොල්ල කැඩුනා. ඉන්පසු සැරයන් ජයතිස්ස, පො.කො. නිංග හා කුමාර මට අතින් පයින් ගැහුව්වා.

ස්ථානාධිපති අමරසිංහ එ් අතර පැමිණ, මට අතින් පහරදී, පුරුෂ ලිංගය අල්ලා මිරිකා, කරකවා, මිරිස් කුඩු දානවා කියා තර්ජණය කලා.

ඔවුන් මට මේ සියල්ල කළේ උඹ චන්ඩියෙක්ද කියා අසමින්.

මට පහර දෙන අතර, ගුණරත්න නැමැති අයටද ගැහුව්වා. 

පැයක් විතර තියාගෙන ඉඳලා, යතුරු පැදිවලින් බදුරලිය පොලිසියට ගෙන ආවා. එසේ ගෙන ආවේ සැරයන් ජයතිස්ස, පො.කො. නිලංග හා කුමාර යන අය.

බදුරලිය පොලිසියට ගෙන ආ පසු මාංචු ගලවා, කූඩුවට දැම්මා. ? එළි වෙනකම් කූඩුවේ සිටියා. 

පසුදින (2017.12.02 )උදේ 10.30 ට පමණ, මාගේ බිරිඳ වන කුරුඳුකාරගේ නිලන්ති දේවිකා ශ‍්‍රියා කල්‍යානි පොලිසියට පැමිණියා.

ඊට පස්සේ, ඇප දුන්නා. ඇපයට අත්සන් කලේ මාගේ බිරිඳ විසින්. 2017.12.08 දින උසාවියට එන ලෙසට දැනුම් දුන්නා. චෝදනා දන්නේ නැහැ.

පොලිසියෙන් පිටවූ පසුව, මාව කෙළින්ම බදුරලිය රජයේ රෝහලට ගියා. බදුරලිය රෝහලට මට පොලිසියෙන් ගහපු බව කිව්වා. 

රාත‍්‍රි 10ට පමණ බදුරලිය රෝහල ගිලන් රථයෙන් මාව නාගොඩ මහා රොහලට මාරු කරනු ලැබුවා. එහිදි ද මා පොලිසියෙන් ගහපු බව වෛද්‍යවරුන්ට ප‍්‍රකාශ කළා. 5බි වාට්ටුවේ නවත්වා ප‍්‍රතිකාර කළා. වාට්ටුවේ ඉන්න විට රෝහල් පොලිසියෙන් පැමිණ විස්තර ලබා ගත්තා. ලියා ගත් දේ කියවා තේරුම් කළේ නැහැ. අත්සන ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරි පරික්ෂා කළා. 2017.12. 04 ටිකට් කැපුවා.

2017.12.04 රෝහලින් පිටවූ පසුව, සවස 3.00 ට පමණ, මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිල්ලක් කලා. මා කියන දේ යතුරු ලියනය කලා. නමුත් නැවත කියවා පැහැදළි කළේ නැහැ. අත්සන් ගත්තා. සහකාර පොලිස් අධිකාරී ක‍්‍රියා කළේ අපරාධය කල පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන්න. 

දවස් තුනක් බලාගෙන හිටියා කැඳවනවා කියපු නිසා. නමුත් කැඳවූයේ නැති නිසා, 2017.12.07 (අද* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හමුවන්නට ආවා. එහිදී, මතුගම පොලිස් ස.පො.අධිකාරී එනකම් ඉන්න කිව්වා. පැය 2 1/2 ක් පමණ ඉන්නකොට, මතුගම ස.පො.අධිකාරී පැමිණියා. 

නමුත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී හෝ මතුගම ස.පො.අධිකාරී ව හමුවන්නට මට ඉඩ දුන්නේ නැහැ.

හීන්කෙන්ද නැමැති ආරක්ෂක සහායක පැමිණ,  ඕන වුනොත් ආයේ එන්න, පරීක්ෂණ කරගෙන යනවා කියා, මට යන්න කිව්වා. 

මේ සියල්ලෙන්ම පැහැදිලි වූයේ, මට අමානුෂික ලෙසට පහර දුන්න, බොරු නඩු දැමූ, මා කෙලිඇල්ල පොලිස් මුරපොලේ ස්ථානාධිපති අමරසිංහ, සැරයන් ජයතිස්ස, පො.කො.නිලංග හා කුමාර ආරක්ෂා කිරීමට ක‍්‍රියා කරන බවය.

මෙ ආකාරයට මේ සියලූම නිලධාරීන් ක‍්‍රියා කරන්නේ, බදුරලිය පොලිස් වසමේ, මෝල්කාව, යාලමැඩිය ප‍්‍රදේශයේ, මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන, පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ, මහාධිකරණ නඩුවේ චුදිත වන - නිශ්ශංක (ලොකූ* සමග පොලිසිය පවත්වාගෙන යන සහසම්බන්ධය බව වගකීමෙන් ප‍්‍රකාශ කරමි.’’

ඔහු ඉල්ලා සිටින්නේ, මාකෙලි ඇල්ල පොලිස් මුරපොලේ, පොලිස් අපරාධ කරුවන් සිව් දෙනා වන, 1. ස්ථානාධිපති අමරසිංහ, 2. සැරයන් ජයතිස්ස, 3. පො.කො.නිලංග 4. පො.කො. කුමාර
 යන නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක කරනා ලෙසටය.

එමෙන්ම මෙය මුලික අයිතින් උල්ලංඝණය කිරිමක් බව පෙන්වා දෙයි.


No comments:

Post a Comment