Friday, August 18, 2017

කොස්තාපල්ගෙන් පොලිස්පතිට කණේ පාරක්

පොලිස් කාරයන්ගේ, කොම්පැනි කාරයන්ගේ, දේශපාලකයන්ගේ බහට යට නොවූ පොලිස් සැරයන්වරයකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකදී හෙළිදරව් වූ කරුණු හා තීන්දුව - සියලූම පොලිස් පොඞ්ඩන්ට කදිම මග පෙන්වීමකි.

රථවාහන පොලිස් සැරයන්වරයෙකු වශයෙන් හැටන් පොලසියේ සේවය කරමින් සිටි, පොලිස් සැරයන් පාලිත නන්දසිරි, අනතුරුදායක ලෙසට පදවන ලද රථයක් නවත්වා, පරීක්ෂා කළේය.

රියදුරාට ලයිසන් නැති බවත්, බීලා සිටින බවත් හෙළිදරව් කර ගැනීමෙන් අනතුරුව - ඔහු පොලිසියට ගෙන යෑමට පියවර ගන්නා ලදි.

රියදුරා - සී.අයි.සී. සමාගමේ ලොක්කෙක් විය. ඔහු බේරා ගැනීමට, එනම් නඩු නොදා මුදාහරින ලෙසට බලපෑම් කරන්නට විවිධ තරාතිරම් වල පුද්ගලයින් ඉදිරිපත් විය. එ් අතර උසස් යයි කියන පොලිස් කාරයෝ ද විය.

නඩුවේදී, රියදුරා ලෙස සිටි සී.අයි.ඞී.සමාගමේ ලොක්කෙක් වු රංජිත් අබේසිංහ නැමැත්තා වරදකරු බව පිළිගෙන රු: 7500/=ක දඩයක් ගෙව්වේය.

මෙම සිද්ධිය 2009 නොවැම්බර් 7 සිදුවූවකි.

බීලා, ලයිසන් නැතිව රියපැදවූ කොම්පැණි කාරයෙකු පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක කරන ලද පොලිස් සැරයන්ට එරෙහිව විශේෂ පොලිස් විමර්ශණ එ්කකය ලවා පරීක්ෂණයක් පවත්වා, විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පති ක‍්‍රියා කලේය.

පොලිස් විනය පරීක්ෂණයේදී පාලිත නන්දසිරි වරදකරු කරු විය. දඬුවම සැරයන් පට්ටම ගලවා, කොස්තාපල් බවට පත් කිරිමය.

පාලිත නන්දසිරි, ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මෙම අසාධාරණ දඬුවමට එරෙහිවය.

නීතිඥ පුලස්ති හේවාමාන මහතාගේ උපදෙස් මත නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතාය.

2009 වසරේ පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩුව 2017 මාර්තු 03 විභාගයට ගන්නා ලදි.

2017 අගෝස්තු මස 04 වන දින, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රියන්ත ජයවර්ධණ හා උපාලි අබේරත්න මහත්වරුන්ගේ එකඟතාවයෙන්, විනිසුරු අලූවිහාරේ තීන්දුව ප‍්‍රකාශයට පත්කමින්, පාලිත නන්දසිරි ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීරණය කර, පොලිස්පති විසින් සැරයන් තනතුරින් කොස්තාපල් තනතුර පහත හෙලූ නියෝගය අවලංගු කරන ලදි. 

එයට අමතරව, විනය පරික්ෂණයේදී නිගමනයන්ට අනුව, වරදට අනුරූප සුදුසු විනය පියවර ගන්නා ලෙසටද පොලිස්පතිට නියම කරනු ලැබීය.

මෙම තීන්දුවෙන් හෙළිදරව් වන්නේ කවුරුත් දන්නා - එදත් අදත් රථවාහන පොලිසිය රාජකාරී කරන හැටිය.

ලොක්කන්ට එක නීතියක්, පොඞ්ඩන්ට එක නීතියක්. එ් අතර ”පගාව” තීරණාත්මක සාධකය.
ලෝකකෙකුට එරෙහිව හරි පියවරක් ගත්තොත් විනය පියවර!! 
අනේ පොලිසිය..!! බුදු සරණයි..!!!

නඩු තීන්දුව සඳහා පිවිසෙන්න -  www.janasansadya.org  > Judgments > Case No. 186 

No comments:

Post a Comment